බල්ලොත් එක්ක බෑ – ප්‍රහසන සහ විහිළු

balloth ekka ba

සිව් පදයන් දෙකකි.

චරථ භික්ඛවේ – චරථ භික්ඛවේ
චරථ භික්ඛවේ – චරථ භික්ඛවේ
චරථ භික්ඛවේ – චරථ භික්ඛවේ
චරථ භික්ඛවේ – චරථ භික්ඛවේ

ලේනා ජම්බු ගහේ – ආයේ නගී ආයේ පස්සේ
ලේනා ජම්බු ගහේ – ආයේ නගී ආයේ පස්සේ
ලේනා ජම්බු ගහේ – ආයේ නගී ආයේ පස්සේ
ලේනා ඌ ලේනා!

මුල් සිව් පදය ඇසු විට මට නිකන්ම මතක් වූයේ දෙවැන්නය. පළමුවැන්න සම්මා දිට්ඨි සූත්‍රයේ “චරත භික්ඛවේ චාරිකං – බහුජන හිතාය – බහුජන සුඛාය” යන්නෙහි modified version එකකි. දෙවැන්න නම්, පාසල් කාලයේ බජව් දාන විට ඉගෙන ගත් සිව්පදයකි. (මීට අමතරව මේ තනුවට මැච් වෙන පදයන් තව බොහෝමය. පලකිරීමට සුදුසු තත්වයේ ඇත්තේ මෙය පමණකි.) පළමුවැන්න නම් උගත්තේ රවින්ද්‍ර ආරියරත්නගේ “බල්ලොත් එක්ක බෑ” වේදිකා නාට්‍යයෙනි. මේ ලිපිය චරථ භික්ඛවේ හාස්‍යයට ලක් කිරීම ගැන නම් නොවේ. හාස්‍යෝත්පාදක වස්තු බීජයක් ඇත්නම් සහ එය නාට්‍යයේ ගලා යාමට හානි නොකරයි නම් සන්දර්භය විමසා බලා එය පෙළට ඇතුලත් කිරීම වරදක් ලෙස නොදකිමි. ප්‍රශ්නය ඇත්තේ එවැනි සරල යෙදුම් ගණනාවක් නාට්‍යය පුරා දක්නට ලැබීමය.

මේ තවත් එකකි.

රාජ්‍ය සේවකයා – අන්තිමට යාලු උනේ මොරටුව කැම්පස් එකේ කෙල්ලෙක් එක්ක. වැඩේ ඉතින් ජෝන් බාස්ටම ගියා!

පෞද්ගලික ලේකම් – ඒ මොකෝ? මොරටුව කැම්පස් එකේ කෙල්ලෙක් නම් ඉතින් හොඳයි නේ!

රාජ්‍ය සේවකයා – මොරටුව කැම්පස් එකේ කෙල්ලෝ හොඳයි මළ ගෙවල් වල අඬන්න!

[ගැලරියේ සිනා]

මෙය රවීන්ද්‍රගේ කෘතියේ ලොවෙත් නැති දෙබසක් බවට සැක නැත. මොරටුව කැම්පස් එකේ කෙල්ලන් ගෙන් බහුතරය මළ ගෙවල් වල ඇඩීමට පමණක් සුදුසු බව වෙනම කතාවකි. නමුත් එය නාට්‍යයේ සන්දර්භයට අදාළ නැත. එය ගැලරිය සිනා ගැස්සවීම සඳහා කැම්පස් එක බලා ඇතුලත් කර ඇති දෙබසක් බව පැහැදිලිවම පෙනේ. නාට්‍යය සරල වන්නේ එවැනි සරල යෙදීම් වලිනි.

“අම්මට හු#$%*, සුවපත් වේවා කියපන්..!” කිව්වේ විජය නන්දසිරිය. ලෝකධර්මී නිසා ප්‍රශ්නයක් නැත.  ඥානසාර සිවුර දරන් කුණුහරප කියන අතරේ සහ වාසුදේව පාර්ලිමේන්තුවේ පයනු සම්මත කරන කාලයේ ඕනේ පොඩි එකෙක් වට්ටක්කා ද අඳුරයි. නමුත් විජය එසේ කියන්නේ, රංගනය මගින් ප්‍රේක්ෂකයා ඇඳ බැඳ තබාගත් අවස්ථාවක වීම නාට්‍ය රසයට හානි කරන්නකි. එහිදී ඔහු ගැලරිය සිනා ගැස්සවීම සඳහා overacting කරන බව පැහැදිලිවම පෙනී යයි. නාට්‍යයේ මුල් පිටපතින් බැහැරව දෙබස් ඇතුලත් කිරීම නාට්‍ය රසයට පැහැදිලිවම හානි කරන්නකි. තත් කාලයට ගැලපෙන පරිදි වඩාත් updated විහිළු ඇතුලත් කිරීම තිබිය යුතුය. ඒ හැරුන විට, නාට්‍ය ශාලාවේ නම, සන්විධායකයාගේ නම, ළඟ සිටින ප්‍රේක්ෂකයාගේ උස බර දක්වා නාට්‍යයේ පිටපත localize කිරීමක් කල යුතු නැත. මුල් පිටපතින් බැහැරව ඇතුලත් කර ඇතැයි සැක කල හැකි දෙබස් ගණනාවක් දුටිමි. ප්‍රේක්ෂකයාගේ සන්දර්භය ඉලක්ක කර විහිළු සැපයීම් අතින් නම් නාට්‍යය මෙලෝ රහක් නැත. එසේ ඉදිරිපත් කල විහිළු හැරුන විට ඉතිරි බහුතරයක් සාමාන්‍ය ව්‍යවහාරයේ ඒවාය.

රාජ්‍ය සේවකයා – දන්නවද මම කොහොමද ලියුමක් පටන් ගන්නේ කියල, කෙල්ලන්ගේ හිත ඇද…. බැඳ… ගන්න? [ප්‍රේක්ෂකයාගේ කුතුහලය අවුස්සයි]

පෞද්ගලික ලේකම් – නෑ……

රාජ්‍ය සේවකයා – මගේ චූටි පැටියෝ කියල..!

මෙලෝ රහක් නැත. ප්‍රේක්ෂකයාගේ කුතුහලය අවුස්සා කියන්නේ අන්තිම සාමාන්‍ය දෙයකි. එතරම් පූර්විකාවක් එම වදනට ලබා නොදිය යුතුව තිබුනි.

රාජ්‍ය සේවකයා – දවසක් මම මගේ චූටි පැටියෝ කියල පටන් ගත්ත ලියුමක් දුන්නනේ ලොරි බාගයක් සයිස් කෙල්ලෙක්ට. [සිනා] ඉතින් ඒකිගේ අයිය ආවා අපිට ගහන්න. අපි හතර දෙනාම සූරයෝ බලල හිටිය වෙලේ ආවේ…

අන්තිම සරලය. එකක් මෙහි ඇති සාමාන්‍යත්වයි. අනික මට සිතුනේ නම්, ලොරි බාගයක් සයිස් කෙල්ලෙක්ට එවැනි ලියුමක් ලැබුනේ නම් ඒකිගේ අයියා මුට ගැසීමට පැමිණීමෙන් වැඩක් නැත. කර යුතුව තිබුනේ වහාම බන්දා දීම වගේ එකක් බවයි.

කෙසේ නමුත් රංගනය අතින් වඩාත් හාස්‍යයක් ජනනය කිරීමේ හැකියාවක් ඔවුන් හට තිබුණි. පෞද්ගලික ලේකම්ගේ moon walk එක නම් පට්ටම සිරාය. පෞද්ගලික ලේකම්, පොඩි හාමුදුරුවන් ලෙස වෙස් වලාගෙන සන්සුන් ලෙස වැඩම කිරීම නිම වන්නේ moon walk එකකිනි. ඒ රාජ්‍ය සේවකයා හාමුදුරුවන්ගේ සන්සුන් කම දැක “අනේ වාසනාවන්” කිව්වා පමණක්ම වීම හාස්‍යය තීව්ර කරවන්නකි. එයද සමහරවිට ප්‍රේක්ෂක සන්දර්භය ඉලක්ක කර කල විහිළුවක් වීමට පුළුවන. එසේ නම්, ඒ සාර්ථක යෙදීමකි.

තේමාව අතින් ගත් කල නම් එය ලංකාවේ ජාරජීර්ණ සහ කටුසු දේශපාලනයයි. රාජ්‍ය සේවකයන් කුජීත වී ඇති ආකාරයයි. ශාසනය කෙරෙහි ඇති ආලය දුරුවී විටෙක විහිලුවක්ද, විටෙක අබුද්ධිමත් චීවරධාරින්ගේ තෝතැන්නක්ද වී ඇති ආකාරයි. එකී මෙකී බොහෝ දෘෂ්ටීන් ඔස්සේ ගොඩනැගුනු බල්ලොත් එක්ක බෑ හි තේමාව අත්‍යන්තයෙන්ම ඒ ආකාරයේ විවේචනයක් උවමනා කර ඇත්තකි. රුපියක් දහසට විකිනෙන ගණිකාවද පෙන්නුම් කරන්නේ එකී මෙකී දේශපාලන අරගල තුල සමාජයේ තවත් පැතිකඩකි. වේශ නිරූපන ශිල්පියාගේ භූමිකාව නම් පැහැදිලි නැත. සමහර විට, සාමාන්‍ය පන්තියේ තරුණයෙක් වීමට පුළුවන. කෙසේ නමුත්, නාට්‍යයේ අරමුණ බොහෝ වෙලාවක් යනතුරු අපැහැදිලිය. යම් යම් විටෙක සම්පූර්ණයෙන්ම track පැන්න බව නම් පෙනී ගිය කරුණකි. රාජ්‍ය සේවකයාගේ බයිලා ගැසීම ඕනෙවට වඩා උලුප්පා දක්වා තිබුණි. “අපිත් රාජ්‍ය සේවකයෝ” යන වදන් පෙළ ඇසීමත් අන්තීමට එපා වෙන ගානටම ඔද්දල් කරනු ලැබුවේය. ධන ලකුණු නොතිබුණාම නොවේ. සිදුවූයේ බහුතරයක් තිබුන ඕනෙවට වඩා බයිලා ගැසීම නිසා ඒවා යටපත් වීමය. නාට්‍යයේ ධාරාව කිසියම් ස්ථාවරත්වයකට පැමිණෙන්නේ හාමුදුරු වෙස් ගන්නා ජවනිකාව ආසන්නයෙනි. අවසන් ජවනිකාවේද, ජයග්‍රහණයෙන් පසුව දේශපාලකයා, ජනතාව පිස්තෝලයක් පෙන්වා පළවා හැරීම ඕනෙවට වඩා ඍජු, පොල්ලෙන් ගසන්නාක් වැනි ඉදිරිපත් කිරීමකි. එය එතෙක් වෙලා සංයමයෙන් යුතුව ගොඩනගාගෙන ආ භාවයන් සුනු විසුණු කිරීමකි. එය ඊට වඩා ආනතියක් සහිතව කල යුතුව තිබුණකි.

සමස්තයක් ලෙස හැඟෙන්නේ නම්, අනවශ්‍ය රඟපෑම් වලින් නාට්‍යයේ මුල් තේමාව සහ සන්දර්භය යටපත් කර ඇති බවයි. යම් යම් තේමාවන් අතින් සාර්ථක බවක් අත්කර ගත්තද, ප්‍රධාන තේමාව නාට්‍යය තුලදී අසාර්ථකත්වයට පැමිණ ඇතැයි සිතේ. සමහර විටෙක ප්‍රහසනයකටත් වඩා විහිළු සැපයීම අතින් නම් නාට්‍යය ඉදිරියෙන් තිබුණි.

Balloth-Ekka-20141127